06 - භද්ධිය මහරහතන් වහන්සේ

 

             06 භද්ධිය මහ රහතන් වහන්සේ





 


 

 

භද්ධිය මහ රහතන් වහන්සේ

කුලීනයන් අතුරෙන් අග්‍ර වූ මේ හද්දිය ස්ථවිර තෙමේ වනාහි කාලිගොධා නම් ශාක්‍ය රාජ මෙහෙසියගේ පුත්‍රයෙකි. අනුරුද්ධ කුමරු හා පැවිදි වීමට ගිය ශාක්‍ය රාජ කුමාරවරුන් කැටුව ගොස් පැවිදි වී පසුව උසස් කුල ඇත්තන් අතරෙන් අග්‍ර වූ සේක, එහි පිළිවෙල කථාව මෙසේ දත යුත්තේය. කෙසේද යත්?,,

 

මෙතෙමේ මේ මහා භද්‍ර කල්පයට කල්ප  ලක්ෂයකට පෙර ලොව පහල වූ “පදුමුත්තර” නම් බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මහා භෝග කුලක් හි ඉපිද වසන සමයෙහි දිනක් සවස් වේලෙක ගඳ මල් ගත් අත් ඇතිව බණ ඇසීම සඳහා විහාරයට යන්නාවූ උපාසකයන් දැක , “පින්වත්නි! තෙපි කොහි යන්නාහු දැයි අසා, බණ ඇසීමට යැ”යි කී කල්හි ඔවුන් සමග විහාරයට ගොස් පිරිස් කෙලවර සිට බණ අසන්නේ එදවස ශාස්තෘන් වහන්සේ එක් භික්ෂුවක් කුලීන භික්ෂුන් අතර අග තැන්හි තබනු දැක, “අනේ! මමද අනාගතයෙහි එක් බුදු කෙනෙකුන්ගේ සසුනෙහි කුලීන භික්ෂුන් අතර අග තැන් ලබන්නේ නම් මැනව” යි සිතා සර්වඥයන් වහන්සේ වෙත එළඹ වැඳ, “ස්වාමිනි! සෙට දින මහා සංඝයා සහිත වූ ඔබ වහන්සේ මාගේ නිවසෙහි දානය පිළිගෙන වදාරණ සේක්වා” යි ආරාධනා කොට ගෙට ගොස් දන් පිළියෙළ කරවා පසු දින විහාරයට ගොස් බුදු රජාණන් වහන්සේ වැඳ දානයට වැඩමවීමට  සුදුසු වෙලාව දැන්වීය.

 

ඉක්බිති බුදු රජාණන්වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා ඔහු ගේ ගෙට වැඩමවා පණවා තිබු අසුන්හි වැඩ සිටි සේක. හෙතෙමේද බුදු පාමොක් මහා සඟන වලඳවා ඒ නියායෙන්ම සත් දිනක් මහ දන් දී අන්තයෙහි බුදුන් වෙත එළඹ, “ස්වාමිනි! මම මේ දානයෙන් අන්‍යවූ  දේව බ්‍රහ්ම ආදී සම්පත්තියක්  නොපතමි. මේ පිනෙන් අනාගතයෙහි ලොව පහලවන්නාවූ  යම් බුදුවරයෙක් ගේ සසුනෙහි, කුලීන භික්ෂූන් අතර අග තනතුර පතන්නෙමි” යනුවෙන් ප්‍රකාශ කොට බුදුන් පා මුල වැඳ වැටුනේය.

 

ශාස්තෘන් වහන්සේ දිවැසින් අනාගතය බලා වදාරා ඔහුගේ ඒ පැතුම සිදුවෙන බව දැක, “කුල පුත්‍රය! තොපගේ මේ පැතුම මෙයින් කප් ලක්ෂයකින් මතු කාලයෙහි ලොව පහළවන්නාවූ ගෞතම බුදුන් සමහිදී සිදුවන්නේය; ඔබ ඒ බුදුන් ගේ සසුනෙහි කුලීන භික්ෂූන් අතර අග තනතුර ලන්නේය”යැයි විවරණ දී අනුමෙවෙනි කොට නිමවා වෙහෙරටම වැඩි සේක.

 

හෙතෙමේ ද  ඒ විවරණ ලැබ කුලීන භික්ෂූන් වීමට කල යුතු පිළිවෙත් මේ මේ යයි භික්ෂුන් වෙතින් අසා දැන, ධර්මාසන කරවීම, ඒ ධර්මාසනයන්හි පසතුරුණු ඇතිරීම, විජිනිපත් පිදීම, ධර්ම කථිකයන් වහන්සේලාට වත් සැපයීම, පොහොය ගෙවල් හි පහන් දල්වනු සඳහා තෙල් පිදීම, ආදීවූ පින්කම් කොට ආයු කෙලවර ඒ අත් බැවින් චුතව දෙවි මිනිසුන් අතර සැරි සරමින් නොයෙක් දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳ කාශ්‍යප සර්වඥයන් හහන්සේටද ගෞතම සර්වඥයන් වහන්සේටද අතර කාලයෙහි බරණැස කෙළෙඹි ගෙයක උපන්නේය.

 

. එසමයෙහි බොහෝ පසේ බුදුවරයන් වහන්සේලා ගන්ධමාදන පර්වතයෙන් අවුත් බරණැස ගංගා නම් ගං ඉවුරෙහි සුව පහසු තැන් හි හිඳ පිණ්ඩපාතය වළඳති. ඒ කෙළෙඹි තෙමේ නිරන්තරයෙන් ම එහි සිට දන් වළඳන්නාවූ උන් වහන්සේලා දැක, එතැන ගල් පුවරු අටක් අතුරා දිවි ඇති තෙක් ඒ පසේ බුදුවරයන් වහන්සේලාට උපස්ථාන කළේය. ඉක්බිති බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දෙවි මිනිසුන් අතර සැරිසරා  මෙම බුද්ධෝත්පාද කාලයෙහි කිඹුල්වත් නුවර ක්ෂත්‍රිය කුලයෙක් හි  කාලිගෝධා’ නම් ක්ෂත්‍රිය මෙහෙසියගේ කුසයෙහි උපන්නේ  භද්ධිය කුමාරයා යැයි ප්‍රසිද්ධ විය.

 

හෙතෙම ඉතා තරුණ වියෙහි දීමැ රාජ්‍යත්වයට ද පත් විය. උන්ගේ ඉතා කුලුපග මිතුරකු වූ ‘අනුරුද්ධ’ කුමාරයාගේ ඉල්ලීම පරිදි, ඔහු සමග ගෞතම සාසනයෙහි පැවිදි වීමට එකග විය.  ඔවුන්ගේ යහලු කුමාර වරුන් වන ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන කුමාර වරුන්ද ඔවුනට එක්වූහ. ඔවුන් සියලු දෙනාම පැවිදි බව ලබා ගැනීමට පිටත්වැ රාජ්‍ය සීමාවට පැමිණ තම තමන් සතු වටිනා ආභරණ ආදිය තමන්ගේ සේවකයකු වන ‘උපාලි’ නම් කරණවෑමියා අතට දී, ඒවා ශාක්‍යයන්ට භාර දෙන මෙන් දන්වා පිටත්වැ ගියහ.

 

උපාලි තෙමේ ද මෙම වටිනා ආභරණ ගෙන ගියහොත් ශාක්‍යයන් තමන් කුමාරවරුන්ට අනතුරක් කරන්නට ඇතැ’යි සැක කරනු ඇති’යි සිතා, එම ආභරණ පොදිය කැමැති කෙනෙක් ගනිත්වා’යි ගසක එල්ලා කුමාරවරුන් වෙතටම ගියේ තමන්යද පැවිදි වනු රිසි බව කී කල්හි , කුමාරවරු ඔබ කළේ ඉතා යහපත් ක්‍රියාවකි’යි ඔහුට ප්‍රශංසා කළහ. ශාස්පතෘන්සු වහන්සේ  අනුපිය අඹ වනයෙහි වැඩ වසන බව අසා මේ  කුමාරවරු උපාලි නම් එම කරණවෑමියාද සමග බුදුන් වහන්සේ වෙතැ එළඹ:,

ස්වාමීනි! ශාක්‍යයෝ වන අපි ඔබ වහන්සේ ළඟ පැවිදිවීමට ආවෙමු. එසේම අපි කුල මානයෙන් යුතු ජන වර්ගයක් බැවින් අපගේ කුල මානය දුරු කරනු පිණිස, අපගේ කරණවෑමියා පළමුවැ පැවිදි කරනු මැනවි. එවිට ඔහුට වැදීම් ගරු බුහුමන් කිරීමෙන් අපගේ කුල මානය දුරු කැර ගත හැකිය”

 

යනුවෙන් සැළ කර සිටියහ. බුදුරජාණන් වහ්නසේ ද උපාලි කපුවා පළමුව පැවිදි කළ සේක. මෙසේ කුමාරවරුන් සියලු දෙනාම පැවිදි බව ලබාගෙන නොබෝ කලෙකින් මාර්ග ඵල, ධ්‍යාන  ලබා සව් කෙලෙසුන් නසා අරහත්වය සාක්ෂාත් කළහ.

 

එක්තරා දිනක බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයේ දී භික්ෂූන් වහන්සේලා අමතා

 

ඒතදග්ගං භික්ඛවේ මම කාවකානං භික්ඛුනං

උච්චාකුලීනං යදිදං පුත්තෝ භද්දියෝ”

 

යනුවෙන්.“මහණෙනි, මාගේ ශාසනයෙහි කුලීන භික්ෂූන් වහන්සේ අතර මෙම කාලිගෝධාවගේ පුත් භද්දිය තෙමේ අග්‍ර වන්නේය” යි අග තනතුර දෙවා වදාළ සේක.

 

මෙලෙස කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණ අග තනතුරු ලැබූ භද්දිය මහරහතන් වහන්සේ බොහෝ කාලයක් ලෝ වැඩ සළසමින් සිට නිරුපධිශේෂ පරිණිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පා වදාළ සේක.

 

Useful Reading:

 

 

Audio / Video Clips:

https://shorturl.at/iMQU2

 

https://www.youtube.com/watch?v=D4tLEd4XNcQ

 

 

 

 

 

Comments