05 – අනුරුද්ධ මහරහතන් වහන්සේ
05 – අනුරුද්ධ මහරහතන් වහන්සේ
අනුරුද‍්ධ
සුත‍්තං
මේ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ වනාහි
අපගේ තිලෝගුරු භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා අතරෙහි දිවැස්
අත්තවුන්ගෙන් අග්‍ර වූ සේක. එහි පිළිවෙල කතාව මෙසේ දත යුත්තේය.
මෙයින් කල්ප ලක්ෂයකින් ඔබ්බෙහි ,
එනම් පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ලෝකයෙහි
පහල වූ සේක. එසමයෙහි වනාහි මෙතෙමේ කෙළෙඹි පුතයෙක්ව ඉපිද දිනක් පස්වරු වේලෙහි ධර්ම
ශ්‍රවනය සඳහා යන්නාවූ මිනිසුන් සමග විහාරයට ගොස් මහා පිරිස් කෙලෙවෙරෙහි සිට බණ
අසමින් හුන්නේය. ශාස්තෘන් වහන්සේ ද ධර්ම දේශනාව නිම කොට වදාරා එක භික්ෂුවක් දිවැස්
ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබා වදාළ සේක,
ඒ
දුටු කෙළෙඹි පුත්‍ර තෙමේ ද,
” ඒකාන්තයෙන්ම මේ භික්ෂුව උතුමෙක්ය. එසේ හෙයින්
දස බලධාරීන් වහන්සේ මේ භික්ෂුව දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබා වදාළ
සේක. “අනේ ! මමත් අනාගතයෙහි පහලවන්නාවූ බුදු කෙනෙකුගේ සසුනෙහි දිවැස් ඇත්තවුන්
අතුරෙන් අග්‍රස්ථාන ලබන්නේ නම් ඉතා යෙහෙක”යැයි සිතා පිරිස් මැදින් ම ශාස්තෘන්
වහන්සේ වෙත එළඹ භික්ෂුන් ලක්ෂයක් පිරිවර කොට ඇති උන්වහන්සේට පසු දවස දානයට ආරාධනා
කොට ගෙට ගොස් ප්‍රනීත වූ ඛාද්‍ය ගොද්යයන් පිළියෙළ කොට පසුදා බුදු රජාණන් වහන්සේ
වෙත එළඹ, “ස්වාමිනි ! මේ දානයට කාලය යැ”යි
දැන්වීය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ලක්ෂයක් පමණ වූ මහා සංඝයා පිරිවරා ඔහුගේ නිවසට
වැඩමවා ඔහු විසින් පිළිගැන්වූ ප්‍රනීත වූ දානය වළඳා නිම වූ කල්හි කෙළෙඹි තෙමේ පිලිවෙලින් සත් දිනකම
දන් දෙනු කැමැතිව භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කොට, පෙර නියායෙන්ම සත් දිනක් මහ දන් දී
සත් වෙනි දවසෙහි බුදු පාමොක් මහ
සඟනට මාහැඟි වස්ත්‍ර පුජා කොට භාග්‍යවතුන් වහන්සේ වෙතට එළඹ පසඟ පිහිටුවා වැඳ
කියන්නේ,
“ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස! මා විසින් කරන ලද මේ පුණ්‍ය කර්මය ශක්‍ර
සම්පත්තියක් හෝ, බ්‍රහ්ම සම්පත්තියක් පිණිස හෝ මාර
සම්පත්තියක් පිණිස හෝ නොවන්නේය. ඔබ වහන්සේ විසින්
මෙයින් සත් දිනකට පෙර දිනයෙක්හි යම් භික්ෂුවක් දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි
තබා වදාළ සේක් ද, මමද ඒ
භික්ෂුව මෙන් අනාගතයෙහි ලොව පහල වී වදාරන්නාවූ බුදු කෙනෙකුන් වහන්සේගේ
සසුනෙහි දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍ර වෙම්වා” යි ප්‍රාර්ථනා කොට වැඳ හොත්තේය.
ශාස්තෘන් වහන්සේ එය සිද්ධ වේදෝහෝ යි
නොවේදෝ හෝයි බලා වදාරන සේක් සිද්ධවෙන බව
දැන, “පින්වත! මෙයින් කප් ලක්ෂයක් ඉක්ම ගිය
තැන ගෞතම නම් බුදුවරයෙක් ලොව පහලවන්නාහ. ඔබ උන්වහන්සේගේ සසුනෙහි දිවැස් ඇත්තවුන්
අතුරෙන් අග්‍රව අනුරුද්ධ නමින් ප්‍රසිද්ධ වන්නේය” යි වදාරා විවරණ දී අනුමෙවෙනි බණ
නිමවා සඟුන් පිරිවරා විහාරයටම වැඩම වූ සේක.
ඒ කෙළෙඹි තෙමේද ආයු පමණින් සර්වඥයන්
වහන්සේ ට හා භික්ෂු සංඝයා වහන්සේටද, සිව්
පසයෙන් උපස්ථාන කෙරෙමින් අනෙක විධ පින්කම් කොට සර්වඥයන් වහන්සේ පිරිනිවී කල්හි
උන්වහන්සේගේ ධාතු ශරීරය නිධන් කොට කරවූ
සත් යොදුන් රන් සෑය නිම කල්හි භික්ෂු සංඝයා වෙත එළඹ,
“ස්වාමිනි ! දිවැස් ඇත්තකු වීමට කුමන
කුශල කර්මයක් කළයුතු දැ”යි ඇසීය. එවිට ඒ තෙරුන් වහන්සේ ,
“උපාසකය ! ප්‍රදීප දානය වටනේය” යි කී
හෙයින්,
“මැනව ස්වාමිනි ! මම එය කරන්නෙමි”,
යි
පහන් දහස දහස බැගින් ඇති පහන් ගස් දහසක් කරවා ඉක්බිති පසුව කුඩා වුද,
ඉනික්බිති ඊටත් කුඩාවූ දැයි යන ක්‍රමයෙන්
නොයෙක් දහස් ගණන් පහන් ගස් කරවා පිදීය. සෙසු පහන් වනාහි අප්‍රමාණ වුහ.
මෙසේ ජීවිතාන්තය දක්වා කුශල කර්මයන්
කොට දෙවි මිනිසුන් අතරෙහි සැරිසරමින් කල්ප ලක්ෂයක් ඉක්මවා කසුප් බුදුන් සමයෙහි,
බරණැස කෙළෙඹි ගෙයෙක්හි ඉපිද, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ පසු කරවන ලද
යොදුන් පමණ වූ ධාතු චෛත්‍යය නිම කල්හි බොහෝ ලොහො තලි කරවා ගිතෙල් පුරවා එකිනෙක
මුවවිටින් මුවවිට පැහැර සිටින සේ සෑය වට
කොට තබා, සියල්ලන්ටම වඩා මහත්වූ රන් තලියෙක් ගෙන
පිරිසිදු ගිතෙලින් පුරවා පහන් වැටි දහසක් දල්වා පිළියෙන් දරණුවක් කොට ගෙන ඒ පහන්
තලිය හිස තබාගෙන රෑ මුළුල්ලෙහි සෑය වටා පැදකුණු කළේය. ඒ අත්බැව්හිද ජීවිතාන්තය දක්වා මෙසේ කුශල කර්මයන් කොට එයින්
චුතව දෙව් ලොව උපන්නේය.
ඉක්බිති හෙතෙම එහි දෙව් සැපත් අනුභව
කෙරෙමින් සිට සර්වඥයන් වහන්සේ ලොව පහළවන්නට පෙරාතුවම බරණැස් නුවර දිළිඳු කුලයෙක්හි
ඉපිද සුමන නම් සිටුවරයෙකු වෙත වාසය කෙළේය. ඔහුගේ නම් වනාහි අත්තභාර නම් විය. ඒ
සුමන සිටු තෙමේ වනාහි දිනපතා දුගී මගී යාචකයන්ට මහ දන් දෙයි. දිනක් උපරිට්ට නම්
පසේ බුදුවරයන් වහන්සේ ගන්ධමාදන පර්වතයෙහි දී නිරෝධ සමාපත්තියට සම වැද ඉන් නැගී අද
කවරෙකු හට අනුග්‍රහ කරන්නෙම් දැයි බලා වදාළ සේක. පසේ බුදුවරයෝ නම් දුගියන්ට
අනුකම්පා කරන්නෝ වෙති. එහෙයින් උන්වහන්සේ අද මා විසින් අන්තභාරක හට අනුග්‍රහ කල
යුතු යැයි සිතා දැන් ඔහු වනයෙන් නික්ම තමාගේ ගෙට එන්නේයැයි දැන පා සිව්රු ගෙන
ගන්ධමාදන පර්වතයෙන් අහසට පැන නැගී ගම දොර
අන්තභාරක ගේ ඉදිරියෙහි වැඩ සිටි සේක,
හෙතෙමේ ද හිස් වූ පාත්‍රය අතෙහි ඇති පසේ බුදු රජාණන්
වහන්සේ දැක වැඳ, “ස්වාමිනි ! භික්ෂාව ලැබුන සේක්
දැයි අසා, “පිනැත්ත! පිණ්ඩපාතය ලබන්නෙමැ”යි කී කල්හි හෙතෙම, “ස්වාමිනි! මදක් මෙහිම වැඩ සිටිය මැනව “යි කියා
ගෙට දුව ගොස් බිරිඳ අමතා, “සොඳුර! මට තැබූ බත් කොටස ඇත්දැයි”
විචාරා , “ස්වාමිනි! ඇත”යි කී කල්හි වහා දුව ගොස්
පසේ බුදුන්ගේ පාත්‍රය ගෙනවුත්, “සොඳුර! අපි පෙර ජාතියෙහි දී දානාදී
පින් කම් නොකළ බැවින් මෙසේ දුගීව උපනුම්හ. අපට දෙනු කැමති සිතක් ඇති වූ විටද දිය
යුතු දෙයක් නැත්තේය. දිය යුතු දෙයක් ඇති කල්හි ඒ පිලිගන්නේකුත් නොලදිමු. අද වනාහි
මා වෙනෙහි සිට පෙරලා ගෙට එන්නේ අතර මගදී උපරිට්ට නම් පසේ බුදුහු දුටුවෙමි. මාගේ බත් කොටස ද ඇත. එහෙයින්
දෙය්යධර්මය හා ප්‍රතිග්රාහකයා ද අපට ලැබිණ. සිතද දීමටම නැමිණ. එසේ හෙයින් මාගේ බත්
පත මේ පයෙහි ලා දෙව; උන් වහන්සේට ගෙන ගොස් පිළිගන්වමි”යි
කීහ.
එකල්හි ව්‍යක්තවූ ඕ තොමෝ යම් හෙයකින් මාගේ ස්වාමියා
තමාගේ බත් කොටස දෙයිද, මමත් එම දානයෙහි කොටස් කාරියක් විය
යුතු යැයි සිතා තමාගේ බත් කොටස ද එම පයෙහිම බහා තම ස්වාමියාට දුන්නාය. හෙතෙමේද ඒ
පාත්‍රය ගෙන ගොස් පසේ බුදුන්ට පිළිගන්වා වැඳ, “ස්වාමිනි! ම මේ බඳු වූ දුගී බැවින් මිදේවා!”යි පැතීය. එකල්හි පසේ
බුදුන් වහන්සේ ද, “මහ පිනැත්ත ! ඔබගේ ප්‍රාර්ථනාව එසේම
වේවා!”යි කී කල්හි අන්නහාර තෙමේ තමාගේ
උතුරු සළුව බිම අතුරවා, “ස්වාමිනි! මෙහි හිඳ වලදනු මැනව ‘යි
කීය. උන්වහන්සේ ද එහි වැඩ හිඳ නව විධ වූ පිළිකුල් බව මෙනෙහි කරමින් වැළඳු සේක.
වළඳා අවසන් වූ පසු අන්නහාර තෙමේ පිය යුතු පැන් පිළිගැන්වීය. පසේ බුදුන් වහන්සේ ද
ඔහුට ආශිවාද කරන සේක් –
ඉච්ජිතං පත්ජිතං තුය්හං- සබ්බ මේව
සමිජ්ජතු,
සබ්බේ පුරේන්තු සංකප්පා – චන්දෝ පන්න
රසි යථා,
යනුවෙන් අනුමෝදන් කොට මාර්ගයට පිළිපන්
සේක. එකල සුමන සිටුහුගේ සතෙහි අධිගෘහිත දෙව් දුව, “අනේ! අන්නහාර තෙමේ උතුම් වූ දානයක් උපරිට්ට පසේ බුදුන්වහන්සේට
පිළිගන්වන ලදැ”යි තෙවරක් ම කියා සාධු නාද පවත්වුවාය. සුමන සිටු තෙමේ ඒ අසා
“කිමෙක්ද තී මෙපමණ කාලයක් දන් දෙන්නා වූ මා නුදුටුවෙහිදැ”යි ඇසීය.
එකල්හි ඕ තොමෝ කියනුයේ, “මම ඔබගේ දන් දීමෙහි සාධුකාර නොදෙමි. අන්නහාරයා
විසින් උපරිට්ට නම් පසේ බුදුන්ට දුන්නාවූ පිණ්ඩපාතයෙන් පැහැද සාධු කාර දෙමි”යි
කීවාය.
සුමන සිටු තෙමේ එය අසා “ඒකාන්තයෙන්
පුදුමයෙක. මෙපමණ කාලයක සිට දන් දෙන්නා වූ මම දේවතාවුන් ලවා සාධුකාර දෙවීමට
අපොහොසත් වුයෙමි. මා නිසා රැකෙන්නාවූ මේ අන්නහාර තෙමේ යහපත් වූ ප්‍රතිග්රාහකයාණන්
වහන්සේ කෙනෙකු ලද බැවින් එකම පින්ඩපාතයක්
පුජා කිරීමෙන්ම දේවතාවුන් ලවා සාධුකාර දෙවීය. මොහුට සුදුසු සැලකිල්ලක් කොට
මේ පිණ්ඩපාතය මා සතු කර ගැනීමට වටනේය”යි සිතා අන්නහාරයන් කැඳවා කියන්නේ, “යහළුව! අද ඔබ විසින් කිසිවෙකුට කිසියම් දානයක්
දුන්නේ දැ”යි විචාළේය. එකෙනෙහි ඔහු
කියනුයේ, “ආර්යයෙනි! එසේය, ම විසින් උපරිට්ට පසේ බුදුන්ට මගේ බත් කොටස
පුදන ලදී වෙමි”යි කී කල්හි, “එසේනම් පින්වත ! කහවණු දහසක් ගෙන ඒ
පිණ්ඩපාතය මට දෙව!”යි කී. ඔහුද “ආර්‍යයය ! නොදෙමි”යි කීය. පසුව සිටු තෙමේ කහවණු දස
දහස දක්වා වැඩි කළේය. අන්නහාර තෙමේ දස දහසකටත් නොහැකිය යැයි කීය. එවිට සිටු තෙමේ, “පින්වත! එය එසේම වේවා! ඉදින් පිණ්ඩපාතය නොදෙන්නේ නම්, කහවනු ගොඩ දහසක් ගෙන මට පින් අනුමෝදන් කළ
මැනව!”යි කීහ.
හෙතෙමේ ද “එය දීම යුතුද අයුතු දැයි
නොදනිමි. ආයර්යවූ උපරිට්ට පසේ බුදුන් වහන්සේ විචාරා ඉදින් දීම සුදුසු වන්නේ නම් දෙමි”යි කියා පසේ
බුදුන් වෙතට ගොස් ,”ස්වාමිනි! සුමන සිටු තෙමේ මා හට දහසක්
දී ඔබ වහන්සේට පිළිගැන්වූ පිණ්ඩපාත හි පින් ඔහුට අනුමෝදන් කරණ ලෙස ඉල්ලයි, එසේ පින් අනුමෝදනය කරවම්දැයි නොකරවම්දැ”යි
ඇසීය.
එකල්හි පසේ බුදුන් වහන්සේ “පින්වත! ඔබට උපමාවක්
කියමි’යි කියා, “යම්සේ කුල සියයකින් යුත් ගම් හි එකම
ගෙයක පහනක් දෑල්වෙන්නේද, සෙස්සෝ තමන්ගේ තෙලින් ඒ පහන් වැටි තෙමා
එම පහනින් දල්වා ගන්නාහු වෙත්ද නම් පළමු පහනෙහි ආලෝකය ඇතැයි කිව යුතුද නැතැයි කිව
යුතු දැයි ඇසුහ. එකල්හි අන්නහාර තෙමේ, “ස්වාමිනි!
එසේ ඇති කල්හි මුල් පහනෙහි ආලෝකය අඩුවක් නොවන්නේය. තව තවත් වැඩි වන්නේය” යි කීය.
පසේ බුදුන් වහන්සේ පණ්ඩිතය!
එපරිද්දෙන්ම කැඳ හැන්දක් හෝ වේවා! බත් හැන්දක් හෝ වේවා! තමා විසින් දෙන ලද
පිණ්ඩපාතයෙහි පින් අනුනට අනුමෝදන් කරණ කල්හි
සියයකට හෝ දහසකට හෝ ඉනුත් වැඩි දෙනෙකුට හෝ අනුමෝදන් කරන්නේද, ඒ අනුමෝදන් කළ පමණට ම තමාගේ පිණ
වඩන්නේය. ඔබ එකම පින්පාඩතයක් දුන්නේය. සුමන සිටු හට පින් අනුමෝදන් කල කල්හි
පිණ්ඩපාත දෙකෙන්ම දුන්නේ නම් වන්නේය. එකෙක් ඔබටය. එහෙක් ඔහුට යැයි කී සේක.
හෙතෙම පසේ බුදුන් වැඳ සුමන සිටු වෙත
ගොස්, “ස්වාමිනි! පිණ්ඩපාතයෙන් ලත් පින්
අනුමෝදන් වෙව! යි මීය. එසේනම් මේ කහවනු දහස ගණුව’යි කී කල්හි අන්නහාර කියනුයේ,
“මම පිණ්ඩපාතය නොවිකුනමි. සැදැහැයෙන් ඔබට පින්
අනුමෝදන් කරවමි”යි කීය. “දරුව! ඔබ මා හට සැදැහැයෙන් පින් අනුමෝදන් කරව. මම ඔබගේ
ගුණයට පුජා පිණිස මේ දහස් දෙමි’යි කීය. හෙතෙම එසේම වේවා!යි කියා ඒ කහවණු දහස ගත්තේය.
ඉක්බිති සිටු තෙම කියනුයේ , “දරුව! ඔබ මෙතැන් පටන් සියතින් කර්මාන්ත නොකරව.
වීතියෙහි ගෙයක් සාදවා ගෙන වසව; ඔබට යම් දෙකින් ප්‍රයෝජන ඇති කල්හි මා
හට කියා ඒ ලබා ගනුව”යි කීය.
නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියාවූ පසේ
බුදුවරුන්ට පිළිගැන්වූ පිණ්ඩපාතය නම් එදවසම විපාක දෙන්නේය. එසේ හෙයින් සුමන සිටු
තෙමේ අන් දිනවල අන්නහාරයා කැඳවාගෙන රජ ගෙට නොයන්නේ නමුදු එදින කැඳවාගෙන ගියේය.
අන්නහාර ගේ පිණ මතු වූ හෙයින් රජ තෙමේ ද සිටු දෙස නොබලා ඔහු දෙසම බැලීය.
එකල්හි සුමන සිටු තෙමේ රජු දෙසට හැරී,
“දේවයන් වහන්ස! මේ මිනිසා දෙස අතිශයින්ම බලන්නේ
කුමක් හෙයින්දැයි ඇසීය. “සිටානෙනි! පෙර නොදුටු විරු කෙනෙක් හෙයින් ඔහු දෙස බලමි.”
“දේවයන් වහන්ස! මොහු බැලිය යුත්තෙක්
මය.”
” සිටානෙනි! මොහුගේ බැලිය යුතු ගුණය
කවරේද?”
“දේවයන් වහන්ස! මොහු තමාගේ බත් කොටස
අනුභව නොකොට උපරිට්ට පසේ බුදුන්ට පිදු බැවින්මගේ අතින් දහසක් ලැබුවේය.” “සිටානෙනි!
මෙතෙම කවරෙක්ද?”
“දේවයන් වහන්ස! අන්නහාර නම් ඇත්තෙකි.”
රජ්ජුරුවෝද, “එසේනම් සිටානෙනි ඔබගේ අතින් දහසක් ලත් බැවින් මාගේ අතින් ද යමක්
ලබන්නට වටනේය”යැයි කියා කහවණු දහසක් දී සුමන සිටාණන් අමතා, “සගය! මොහුට විසීමට සුදුසු කරවා දෙව්”යි කීහ.
සුමන සිටු තෙමේද “දේවයන් වහන්ස!
යහපතැ”යි කියා ගොස් ගෙ බිමක් සුද්ධ කරන්නට පටන්ගත්තේය. උදැල්ලෙන් පහල පහල තැන
හි එකිනෙක ගැටී සිටියාවූ නිධන් රාශියක්
දැක ඒ බව රජුට දන්වා යැවීය. රජ තෙමේද, ‘ඒවා
ගොඩ ගනුව’යි අන කොට යැවී. රජුගේ වචනයෙන් සාරත්ම නිධි කුම්භීහු යට යති. ඒ බව ඇසු රජ
තෙමේ එසේ නම් “අන්නහාරයන්ගේ වචනයෙන් සාරව්” යැයි විධාන කළේය. ඔව්හු ගොස් “මේ ධනය
අන්නහාරයන්ගේ මය” යි කියමින් සැරූහ. උදැල්ලෙන් පහල තැන්හි නාගයන්ගේ පෙණ
ගොබ සෙයින් නිධි කුම්භිහු මතුවුහ.
ඔව්හු ඒ ධන රාශිය ගෙන ගොස් රජු
ඉදිරියෙහි තැබුහ. රජ තෙමේ ඇමතියන් රැස්
කරවා, “මේ නුවර අන් කවරෙකු හට මෙපමණ ධනය
ඇත්දැ”යි විචාරා, “දේවයන් වහන්ස! කිසිවෙකු හටත් මෙපමණ ධනය
නැතැ”යි කී කල්හි, “එසේ නම් අන්නහාර තෙමේ මේ නගරයෙහි ධන
සිටාණෝ නම් වත්වා”යි එ දවසම සිටු තනතුරු දෙවීය.
එතැන් පටන් හෙතෙම ජීවිතාන්තය දක්වා
නොයෙක් පින්කම් කොට ඒ අත්බැවින් චුතව දෙව් ලොව උපන්නේ බොහෝ කාලයක් දෙවි මිනිසුන්
අතර නොයෙක් සම්පත් අනුභව කොට අපගේ ශාස්තෘන් වහන්සේ ලොව පහල වන කල්හි කිඹුල්වත්
නුවර අමිතෝදන ශාක්‍ය රාජ කුලයෙහි උපන්නේය. ඔහුට නම් තබන දිනයෙහි අනුරුද්ධ යැයි නම්
කළහ. මහානාම ශාක්‍යයාගේ බාල සොහොයුරු වුද
ශාස්තෘන් වහන්සේගේ සුළු පිය පුත් වූ ද ඔහු අතිශයින්ම සිව්මැලි මහා
පිනැත්තෙක් වුහ.
දිනක් තවත් රාජ කුමාරවරුන් තිදෙනෙක් හා
සමග පැරදී අය දිනු අයට කැවුම් දිය යුතු
යැයි කැවුම් ඔට්ටුවට තබා පන්දු කෙළියහ. ඒ අනුරුද්ධ කුමාර තෙමේ තුන් වාරයක් හිම
පැරද මෑණියන්ට ඒ බව කියා යවා කැවුම් තලි ගෙන්වා දී සතර වෙනි වාරයේදීද පැරද මෑණියන්
ගෙන් කැවුම් ඉල්ලා යැවීය. එවිට ඕ තොමෝ ගෙහි කැවුම් නිමාවූ හෙයින්, මෙහි වෙන කැවුම් නැතැයි කියා යැවුය. කුමාර
තෙමේද ‘නැත’ යන්නෙහි අරුත නොදන්නාහු “නැති කැවුම්” යනු තවත් කැවුම් ජාතියෙක්
වන්නේයැයි සිතා, “මෑණියන් වහන්ස! නැති කැවුම් එවනු මානව”
යි කියා යැවීය. ඕ තොමෝ ද , මපුතණුවෝ නැත යන වචනයෙහි අර්ථය නොදන්නේය. අද ඔහුට එහි
අරුත උගන්වා ලමි’යි සිතා රන් තලියක් සෝදා අනෙක් රන් තලියකින් වසා “මේ නැති කැවුම් මපුතනුවන්ට දෙව් “යයි කියා
හිස් තලිය යැව්වාය. කුමාරයාගේ පුණ්‍ය
මහිමයෙන් , නුවර අරක්ගත් දේවතාවා, “මා වැනියෙකු දැන දැනත් මේ කුමාරයාට ‘නැත’ යන
වචනයෙහි අරුත් වැටහී ගියේ නම් මාගේ හිස සත් කඩක්ව පැලී යන්නේය.” යැයි සිතා වසා
ගෙනයන තලිය දිව කවුමින් පුරා ලීය. ඒ පුරුෂයාද තලිය ගෙන ගොස් “කුමාරයිනි! මේ ඔබේ
මෑණියන් දුන් ‘නැති කැවුම්’ ය”යි කියා ඔහු ඇත තැබීය. හෙතෙමේද තලිය ගෙන විවර කල කල්හි හාත් පසින් පැතිරී ගිය දිව
කැවුම් සුවඳින් ප්‍රීතියට පැමිණ අනික් කුමාරවරුන් හා අනුභව කලේය.
පෙර අත් බැව්හි උපරිට්ට නම් පසේ බුදුන්ට තමාගේ කුසගිනි නිවීමට
තිබුනාවූ බත් කොටස පුදා නැත යන වචනයෙහි අර්ථය නොදනිම්වා යි කළ පැතුම් බලයෙන් එදිනද
ඔහුට නැත යන වචනයෙහි අරුත් නොදත හැකි විය. මෙසේ වදෙන්නාවූ හෙතෙම් මහා පිනැත්තෙක්
වූ හෙයින් හේමන්ත, ගිම්හාන, වස්සාන් යන තුන් සෘතුවට
සුදුසු වූ තුන් පහයෙක් හි සියළු අලංකාරයෙන් සැරසුණා වූ නළඟනන් පිරිවරා දෙවියෙකු
මෙන් මහා සම්පත් අනුභව කළේය. එසමයෙහි අපගේ
බෝධිසත්වයන් වහන්සේ ද තුසී පුරයෙහි දෙව්
සැපත් විඳිමින් කල් යවන්නේ සියළු දෙව්
බඹුන් විසින්:- |
කාලෝ යං තෙ මහා වීර –
උප්පජ්ජ මතු කුච්චියං,
සදේවකං තාරයන්තෝ.
පෙර අත් බැව්හි උපරිට්ට නම් පසේ
බුදුන්ට තමාගේ කුස ගිනි නිවීමට තිබුනා වූ බත් කොටස පුදා “නැත” යන වචනයාගේ අර්ථය
නොදනිම්වා’යි කළ පැතුම් බලයෙන් එදිනද ඔහුට නැත යන වචනයෙහි අරුත් නොදත හැකි විය.
මෙසේ වැඩෙන්නාවූ හෙතෙම මහ පිනැත්තියෙක් වූ හෙයින් හේමන්ත, ගිම්හාන, වස්සාන යන තුන් සෘතුවට සුදුසු වූ තුන් පහයෙක් හි සියළු අලංකාරයෙන්
සැරසුනාවූ නලගණන් පිරිවරා දෙවියෙකු මෙන් මහා සම්පත් අනුභව කළේය. එසමයෙහි අපගේ බෝධි
සත්වයන් වහන්සේ ද කුසී පුරයෙහි දෙව් සැපත් විඳිමින් කල් යවන්නේ, සියළු දෙව් බඹුන් විසින් –
කාලෝ යං තෙ මහා වීර – උප්පජ්ජ මාතු
තුච්චියං,
සදෙවකං තාරයන්නෝ – බුජ්ජුස්සු අමතං
පදං.
යනුවෙන්, මහා වීරයන් වහන්ස! මේ වනාහි ඔබ වහන්සේ මිනිස් ලොව ඉපද මහබිනික්මන්
කොට බුදුව දෙවි මිනිසුන් සහිත ලෝකයා සසර සයුරින් එතර කිරීමට සුදුසු කාලය වන්නේය”යි
ආරාධනා කරනු ලැබූ කල්හි, හෙතෙමේ ද,
කාලං දෙසංච දීපංච – කුලං
මාතර මෙවච,
එතෙ පංච විලොකෙත්වා – උප්පජ්ජන්ති
තථාගතා.
යනාදීන් “මනුලොව ඉපදීමට සුදුසු,
කාලය දේශය දීපය කුලව මව් පිය දෙදෙන යන පස් මහ
බැළුම් බලා සුදුසු කාලය යැයි දැන
කිඹුල්වත් පුර සුදොවුන් මහ රජාණන් ගේ අග මෙහෙසිය වූ මහා මායා බිසව් කුස
පිළිසිඳ ගෙන දස මස් ඇවෑමෙන් වෙසක් පුර පසළොස්වක් දින කිඹුල්වත් පුරයට හා දෙව්දහ
පුරයටත් අතරෙහි වූ ලුම්බිණි නම් සල් වෙනෙහිදී මව් කුසින් බිහිව පුර පසෙහි සඳ මෙන්
වැඩෙන්නේ පස්කම් සුව අනුභව කෙරෙමින් එකුන් තිස් වසක් ගිහි ගෙහි වැස මහබිනික්මන් කොට සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා
කොට පස් මරුන් පරදවා වෙසක් මස පුර පසළොස්වක් දින බෝ මැඩහි දී සර්වඥතා ඥානය උපදවා
ගෙන සත් සතියක් බෝ මැඩ වෙතම කල් යවා මහබඹුගේ අයැදුමෙන් බරණැස ඉසිපතන්හිදී පස්වග
මහනුන් ඇතුළු දෙවි බම්බුන්ට දම් සක් පවත්වා ලොකානුග්‍රහය කෙරෙමින් රජගහ නුවරට වැඩි
සේක.
ඉක්බිති සුදොවුන් මහා රජ තෙමේ “මාගේ
පුත්‍ර තෙම රජගහ නුවරට ආවේය” යි අසා “දරුවෙනි! ගොස් මාගේ පුත්‍රයා කැඳවා ගෙන ඒව”
යැයි දහස දහස පිරිවර කොට ඇති දස ඇමතියෙකු දස වාරයෙක් හි යවා ඔවුන් හැම දෙනම බුදුන්ගෙන් බණ අසා රහත්ව පැවිදිවූ හෙයින් ආපසු
නොපැමිණි කල්හි කාළුදායි තෙරුන් විසින් ආයාචනා කරණ ලද්දේ විසි දහසක් භික්ෂු සංඝයා පිරිවරා
රජගහ නුවරින් නික්ම කිඹුල්වත් නුවරට වැඩමවා ඥාති සම්මගමෙහිදී නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්‍යයන්
දක්වමින් විසිතුරු කොට දම් දෙසා මහජනයාට අමා පැන් පොවා දෙවෙනි දින පා සිව්රු ගෙන
නුවර දොර වැඩ සිට කුල නගරයට ආවා වූ සියළු බුදුවරයන් විසින් පුරුදු කරණ ලද මාර්‍ගය
කිමෙක්දැයි ආවර්ජනා කොට ගෙපිළිවෙලින් පිඬු සිඟා යාම බැව් දැන නගරයෙහි පිඬු සිඟා හැසිරීමට පටන් ගත් සේක.
එකල්හි තම පුත්‍රයා සිඟා වීථියේ හැසිරේ යැයි අසා එහි පැමිණ, “ස්වාමිනි! අපගේ කුලයට නිගා නොකළ මැනව . අහර
සිඟමින් ගෙන් ගෙට නොයනු මැනව” යි කී සුදොවුන් රජ හට –
උත්තිට්ටේ නප්ප මජ්ජෙය්ය- ධම්මේ
සුචරිතං චරේ,
ධම්මචාරී සුඛං සෙති – අස්මිං ලෝකෙ
පරම්ගිච.
යනුවෙන්;
මහරජ! අප්‍රමාදව දහම්නි හැසිරිය යුතුය,
ධර්මයේ හැසිරෙන තැනැත්තේ මෙලොවද පරලොවද සැප
විඳින්නේය’ යි ධර්ම දේශනා කොට වදාරා රජතුමා විසින් සිය මැදුරට වැඩමවා ගෙන ගොස් කරණ
ලද සත්කාර සම්මාන ඇත්තේ එහිදී ඥාති සමුහයාට අනුග්‍රහ කොට විහාරයට වඩනා සේක්,
දායාද ඉල්ලමින් තමන් වහන්සේ පසුපස ආ රහල් කුමරු
පැවිදි කරවා නොබෝ කලකින් කිඹුල්වත් පුරයෙන් නික්ම මල්ල රටෙහි චාරිකා කෙරෙමින් අනු
පිය නම් අඹ වනයට වැඩි සේක.
එසමයෙහි සුදොවුන් මහා රජ තෙමේ ශාක්‍ය වංශිකයන් රැස්
කරවා, “පින්වත්නි! ඉදින් මාගේ පුත් සිදුහත්
කුමර තෙමේ ගිහි ගෙයි විසුවේ නම් සක්විති රජ වන්නේය. චක්‍ර රත්නයෙන් යුක්ත වූ මාගේ
මුනුබුරු රාහුල කුමාර තෙමේ ද ක්ෂත්‍රිය සමුහයා සමග ඔහු පිරිවරා හැසිරෙන්නේය. ඔබ
සැමත් මේ කාරණය දන්නාහුමය. දැන් වනාහි
මාගේ පුත්‍ර තෙම බුදු විය. එහෙයින් ඔහුට පිරිවර පිණිස ඔබ සැමගෙන් එක එක කුළ
දරුවෙකු බැගින් දෙව්”යැයි කීහ. මෙසේ කී කෙනෙහිම දහසක් කැත් කුමරහු පැවිදි වුහ.
එසමයෙහි මහානාම ශාක්‍ය තෙමේ ධනපතියෙක්
විය. මහානාම ශාක්‍ය තෙමේද අනුරුද්ධ ශාක්‍ය
තෙමේද දෙබෑයෝ වුහ., ප්‍රසිද්ධ වූ ප්‍රසිද්ධ වූ ශාක්‍ය කුමාරවරු
භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වූ බැව් ඇසු මහානාම ශාක්‍ය තෙමේ දැන් වනාහි ප්‍රසිද්ධ කුලවල
කුමාරවරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වෙති. අපගේ කුලයෙන් කිසිවෙකුත් පැවිදි
නොවුහ. මම හෝ අනුරුද්ධ කුමරු හෝ මහණවන්නේ නම් යහපතැයි සිතා ඔහු වෙත එලඹ , “අනුරුද්ධයෙනි! ප්‍රසිද්ධ වූ ප්‍රසිද්ධ වූ ශාක්‍ය කුමාරවරු භාග්‍යවතුන්
වහන්සේ වෙත පැවිදි වෙති. අපගේ කුලයෙන් කිසිවෙක් පැවිදි නොවූ හෙයින් ඔබ හෝ පැවිදි
වේවා. නැතහොත් මම හෝ පැවිදි වෙමි”යි කීය. ඉක්බිති අනුරුද්ධ කුමරු කියනුයේ මම වනාහි
සියුමැලිය. ගිහි ගෙයින් නික්ම පැවිදි වීමට නොහෙමි. එහෙයින් ඔබම පැවිදි වෙව!” යි
කීය. එකල්හි මහානාම තෙමේ, “දරුව! අනුරුද්ධය! ඔබට ගිහි ගෙයි විසීම පිලිබඳ
කටයුතු කියා දෙන්නෙමි”යි තමා වෙතට කැඳවා
කුඹුරු කරන නියා කියා දෙන්නේ පළමු කොට
කෙත සී සෑ යුතුය. වැපිරිය යුතුය. වපුරා දිය බැඳිය යුතුය. දිය බැඳ, දිය කැඩිය යුතුය. දිය කඩා වේලිය යුතුය. වේලා තණ
ඉදිරිය යුතු කාලයෙහි තණ ඉදිරිය යුතුය. තණ උදුරුවා තණ අස් කල යුතුය. මැඩ පිදුරු
ඉවත් කල යුතුය. පිදුරු ඉවත් කොට බොල් ඉවත්
කල යුතුය. බෝල් ඉවත් කොට පරිසිදු කළ යුතුය. පිරිසිදු කොට ගෙට ගෙන ගොස්
තැන්පත් කල යුතුය. අනතුරු වාරයෙහිද මෙසේ කල යුතුය. මේ ගිහි ගෙහි කර්මාන්තයෝ නිමාවට
නොයති. කර්මාන්තයන්ගේ කෙලවරෙක් හෝ නිමාවෙක්
නොපැනේමය. එසේ හෙයින් අප්‍රමාදව කටයුතු කොටත් පස් කම් සුවයෙහි ඇළී ගැළී විසීමට කාලයක් නැත්තේමය. මෙසේ ඇති කල්හි
කර්මාන්තයන්ගේ නිමාවක් නැත්තේය. අපගේ මව් පියන් ද
මුත්තනුවන්ද කර්මාන්තයන් නොනිමි කල්හිම කළුරිය කරණ ලද්දේය.
ඉක්බිති අනුරුද්ධ තෙම , “සොයුර! එසේ නම් ඔබම ඒ කර්මාන්ත කරමින් ගිහි ගෙහි විසුව මැනව. මම ගිහි ගෙයින්
නික්ම සසුනෙහි පැවිදි වෙමි” යි කියා මෑණියන් වෙත එළඹ, “මෑනියෙනි! මම ගිහි ගෙන් නික්ම සසුනෙහි පැවිදි වෙනු කැමැත්තෙමි. මා හට
පැවිද්දට අවසර දුන මැනවැ”යි කීය. එවිට මව්
තොමෝ කියනුයේ, “දරුව අනුරුද්ධය! ඔබ දෙදෙන මාගේ ප්‍රිය
මනාප වූ දරුවෝ ය. මරණයෙනුදු ඔබ දෙදෙනාගෙන්
වෙන් වනු නොකැමැත්තීවූ මා ජීවත්ව සිටියදීම
ගිහි ගෙයින් නික්ම මහණවීමට කෙසේ නම් අවසර දෙම්දැ”යි කීවාය. අනුරුත් කුමාර තෙමේ
දෙවෙනි වාරයටත් පැවිදිවීමට අවසර ඉල්වු
කල්හි ඕ තොමෝ පෙර පරිද්දෙන්ම ප්‍රතික්ෂේප කළාය.
අනුරුත් කුමාර තෙමේ තෙවෙනි වර ද
මෑණියන් වෙත එළඹ “මෑනියෙනි! මම ගිහි ගෙන් නික්ම සසුනෙහි පැවිදි වෙනු කැමැත්තෙමි.
මා හට පැවිද්දට අවසර දුන මැනවැ”යි තෙවෙනි
වරටත් අවසර ඉල්ලීය. එසමයෙහි වනාහි භද්දිය
නම් වූ ශාක්‍ය තෙම ශාක්‍යයන්ගේ රජ වෙයි. හෙතෙමේ ද අනුරුද්ධ කුමරුගේ යහළුවෙකි.
ඉක්බිති අනුරුත් කුමරු ගේ මෑනියෝ, ” මේ
භද්දිය රජ තෙමේ මපුතුගේ යහළුවෙක. හෙතෙම පැවිදි වීමට උනන්දුවක් නොදක්වයි. එහෙයින්
ඔහු හා පැවිදි වෙනු මැනව යි කීයේ නම් ඔහු පැවිදි නොවෙනා හෙයින් මපුතනුවොද පැවිදි නොවෙති”යි සිතා පුතු කැඳවා, “දරුව! .ඉදින් භද්දිය රජ තෙමේ පැවිදි වන්නේ නම්
ඔබද පැවිදි වනු මැනව”යි කීවාය.
ඉක්බිති අනුරුද්ධ කුමරු තෙමේ භද්දිය රජු වෙත එළඹ, “යහළුව ! මාගේ පැවිද්ද ඔබ හා බැදී ඇතැ”යි කීය. එකල භද්දිය රජ තෙමේ,
“යහළුව! ඔබගේ පැවිද්ද ම හා බැඳුනේ හෝ
නොබැඳුනේ හෝ වේවා! මමද ඔබ හා කැමැති පැ
පැවිදි වන්නෙමැ”යි කීය. ” එසේනම් යහළුව !
අපි දෙදෙනාම ගිහි ගෙයින් නික්ම පැවිදි වෙමු”යි කී කල්හි භද්දිය තෙමේ එය ප්‍රතික්ෂේප
කළේය. “යහළුව! මගේ මෑණියෝ දරුව අනුරුද්ධය! ඉදින්
භද්දිය රජ තෙමේ පැවිදි වන්නේ නම් ඔබ ද ඔහු හා පැවිදි වේවා”යි කීවා ය. ඔබ
විසින්ද “ඉදින් යහළුව! ඔබගේ පැවිද්ද මා
පිලිබඳ වුවක් හෝ නොවුවක් හෝ වේවා මමත් ඔබ හා කැමැති සේ පැවිදි වෙමි’යි කීවේ නොවේද? යහළුව! එනු මැනවී දෙදෙනාම ගිහි ගෙයින්ස
නික්මම සසුනෙහි පැවිදි වෙමු”යි කීය.
ඒ කාලයේ මිනිස්සු සත්‍යවාදී වුහ. මුසා
නොබණන්නෝ වුහ. සත්‍යවූ ප්‍රතිඥා ඇත්තාහුම වුහ. එසේ හෙයින් භද්දිය රජ තෙමේ අනුරුද්ධ
කුමරු අමතා, ” යහළු අනුරුද්ධයෙනි! තව සත් වසක් ඉවසව!
සත් වසක්හුගේ ඇවෑමෙන් දෙදෙනාම ගිහි ගෙයින් ඉක්ම පැවිදි වෙමු”යි කීය.
“යහළු භද්දියෙනි! සත් වසක් වූ කලි ඉතා
දීර්ඝ කාලකි. එසේ හෙයින් සත් වසක් ඉවසනු
නොහෙමි. මෙසේ ඔවුන් දෙදෙනා ස වසක්, පස්
වසක් යන්ස්ස්දී ක්‍රමයෙන් අඩු කොට සත් දින දක්වා අඩුවූ පසු සත් වෙනි දවස පැවිදි
වන්නෙමු” යයි තීරණය කර ගත්හ.
ඉක්බිති ඔවුන් දෙදෙනා ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන ශාක්‍ය කුමාරවරුන් හා උපාලි නම් කපුවාද
කැටුව පෙර දිනවල සිව් රඟ සෙනග හා උයන් බිමට යන්නේ යම් සේද, එසේම සිව් රඟ සෙනග ගෙන පැවිදි වීම සඳහා
නික්මුනහ. ඔව්හු මදක් තැන් ගොස් සේනාව
නවතා සියරට ඉක්ම අන් රාජධානියකට පැමිණ ආභරණ මුදා උතුරු සලුවෙක පොට්ටනියක් කොට බැඳ
උපාලි නම් කපුවාගේ අතට දී, “උපාලිය! ඔබ නතරවෙනු මැනව. මේ ආභරණ ඔබේ
ජීවත්වීමට සෑහෙන්නේයැ”යි කීහ.
ඉක්බිති නවතින්නාවූ උපාලි කපුවා මෙසේ සිතීය. ශාක්‍යයෝ
වනාහි ඉතා දරුණු වෙති. “මොහු විසින් කුමාරවරු නසන ලදැයි සිතා මගේ ද ජීවිතය නසන්නේය. මේ කුමාරවරු ගිහි
ගෙයින් නික්ම පැවිදි වෙන කල්හි මගේ ගමනින් කිනම් වැඩක් දැයි සිතා, ඒ කුමාරවරුන්ගේ ආභරණ පොදිය ගසෙක එලවා යමෙක් මෙය
දක්නේද, ඔහු ගෙන යේවා”යි කියා හෙතෙමේද පෙරලා
කුමරුවන් වෙතටම ගියේය. ඒ දුටු කුමාරවරු “උපාලිය! ඔබ යහපතක් ම කලෙහි”යයි පසසා ලුහ.
ඔව්හු ඒ උපාලි කපුවා සමග භාග්‍යවතුන්
වහන්සේ කරා එළඹ වැඳ එකත්පසෙක හුන්හ. එසේ හුන්නාවූ ඔව්හු භාග්‍යවතුන් වහන්සේට මෙසේ
කීහ.
“ස්වාමිනි! අපි ශ්‍යාක්යයෝ වෙමු. ශාක්‍යයෝ
නම් මාන අධික කොට ඇත්තාහුය. මේ උපාලි කපු තෙම බොහෝ කාලයක සිට අපගේ සේවකයෙකි. භාග්‍යවතුන්
වහන්සේ පළමු කොට මොහු පැවිදි කරන සේක්වා! අපි මොහුට වැඳීම් ගරු කිරීම් ආදිය
කරන්නෙමු. එසේ ඇති කල්හි ශාක්‍ය වූ අපගේ ශාක්‍ය මානය සිදී යන්නේය”යි කීහ. භාග්‍යවතුන් වහන්සේ ද පළමු කොට උපාලි කපුවා
පැවිදි කොට ඉන් පසුව කුආරවරු පැවිදි කල සේක.
මෙසේ ඔවුන් පැවිදි වූ වසෙහි දීම
ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ දිවැස් ඉපිදවීය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ
සෝවාන් ඵලයට පැමිණියහ. දේවදත්ත ස්ථවිරයන් වහන්සේ පෘතග්ජන සෘද්ධියක් උපදවා ගත්හ.
ඉක්බිති අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ දම්
සෙනෙවි සැරියුත් මහ තෙරුන් වෙතින් කමටහන් ගෙන චේතිය රට ප්‍රාචීන වංශ නම් මිගදායට
ගොස් ශ්‍රමණ ධර්මයන් පුරණය කරන කල්හි සප්ත මහා පුරුෂ විතර්කයන් සිහි කල සේක.
අටවැනි විතර්කනයේදී වෙහෙසට පත් වූ බව
ශාස්තෘන් වහන්සේ බලා වදාරා ඔහුගේ අදහස සපුරා ලන්නෙමි යි එතනට වැඩමවා පනවන ලද උතුම්
බුද්ධාසනයෙහි වැඩ සිටි සේක් අට වැනි මහා පුරුෂ විතර්කනය ආරම්භකොට මහා ආර්ය වංශ ප්‍රතිපදාව
දේශනා කොට අහසට පැන නැගී හෙෂකලා වනයටම වැඩි සේක.
අනුරුත් තෙරුන් වහන්සේද “ශාස්තෘන්
වහන්සේ වැඩි කෙනෙහිම ත්‍රි විද්‍යා ප්‍රාප්ත මහා ක්ෂීණශ්රාවකයෙක්ව ශාස්තෘන් වහන්සේ
මාගේ සිත දැන මෙහි වැඩමවා අටවැනි මහා
පුරුෂ විතර්කනය පුරා දුන් සේක. මාගේ ඒ මන දොලද මුදුන් පමිනියෙය්” යි බුදුන් දෙසු
ධර්මය ද තමන් විසින් අවබෝධ කල ධර්මය ද අරභයා –
‘‘මම සඞ්කප්පමඤ්ඤාය, සත්ථා ලොකෙ අනුත්තරො;
මනොමයෙන කායෙන, ඉද්ධියා උප සඞ්කමි. ‘‘
යථා මෙ අහු සඞ්කප්පො, තතො උත්තරි දෙසයි;
නිප්පපඤ්චරතො බුද්ධො, නිප්පපඤ්චං අදෙසයි.
‘‘තස්සාහං ධම්මමඤ්ඤාය, විහාසිං සාසනෙ රතො;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසන’’න්ති. දසමං; ‘යි
ලෝකයෙහි නිරුත්තර වූ ශාස්තෘන් වහන්සේ
මගේ අදහස් දැන ස්රුද්ධියෙන්ම මා වෙත වැඩම
කල සේක. මගේ අදහස යම් සේ වීද එයටත් වඩා ධර්ම දේශනා කල් සේක. අප්‍රමාදයෙහි අලුනාවූ
සර්වඥයන් වහන්සේ අප්‍රමාද වුවක්ම දෙසු
සේක. මම උන්වහන්සේ ගේ ධර්මය දැන සසුනෙහි
ඇලී වාසය කරන්නේ ත්‍රි විද්‍යාවන් උපදවා කෙලෙසුන් නසා රහත් විමි” යැයි උදන් ඇනුහ.
ඉක්බිති මෑත භාගයෙහි දෙවරම් වෙහෙර වැඩ
වසන්නාවූ සර්වඥයන් වහන්සේ
” එත දග්ගං භික්ඛවේ මම සාවකානං
හික්ඛුනං දිබ්බ චක්කු කානං යදිදං අනුරුද්ධෝ “යි –
මහණෙනි! දිවැස් ඇත්තාවූ මගේ ශ්‍රාවක
සංඝයා අතුරෙන් මේ අනුරුද්ධ ස්ථවිර තෙමේ අග්‍ර යැයි අග්රස්තානයේ තබා වදාළ සේක.
මෙසේ
බොහෝ කාලයක් ශාසනාභිවුර්ධි වර්ධනය
කෙරෙමින් වැඩ වසන සේක්, බුදුන් ගේ පරිනිර්වාණයෙන් පසු මහා කාශ්‍යප
ස්ථවිරයන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් කරණ ලද ධර්ම සංඝිතියට සහභාගිව, අංගුත්තර නිකාය සංග්‍රහ කොට මුන් වහන්සේගේ
සද්ධි විහාරිකයන්ට ප්‍රගුණ කිරීම සඳහා පවරණ ලදුව , වර්ෂ එකසිය පණසෙක් ආයු වළඳා
අනුපධිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.මා විසින් මෙසේ අසන ලද: එක්
සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬුසිටුහුගේ
අරම්හි වැඩවසන සේක. එකල්හි පඤ්චකඞ්ග නම් වඩුදෙටුවාණෝ එක්තරා පුරුෂයකු ඇමතූහ:
“එම්බා පුරුෂය, තෙපි එව, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් කරා එළැඹ මාගේ බසින් ආයුෂ්මත් අනුරුද්ධ
තෙරණුවන්ගේ පාදයන් හිසින් වඳුව, ‘වහන්ස,
පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ
පාදයන් හිසින් වඳීයයි. මෙසේත් කියව: “වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ පඤ්චකඞ්ග ථපතිහුගේ සෙට දින බත තමා
සතරවනු ව ඉවසන සේක්වා, වහන්ස, පඤ්චකඞ්ග ථපති බොහෝ කිස ඇතියෙක, රාජකරණීයයෙන් බොහෝ කරණී ඇතියෙක, වහන්ස, එයින් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ ඉතා
අලුයම වඩනා සේක්වා” යි.
‘එසේ යැ වහන්සැ’ යි එපුරිස් පඤ්චකඞ්ග
ථපති හට පිළිවදන් දී, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් කරා
එළැඹියේය. එළැඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ
හුන් එපුරිස් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල සැලකෙළේ: ‘වහන්ස, පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ පා
හිසින් වඳී, මෙසේත් සැලකෙරෙයි: ‘වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ පඤ්චකඞ්ග ථපතිහුගේ
සෙට බත ආත්මචතුර්‍ත්‍ථ ව ඉවසන සේක්වා. වහන්ස, පඤ්චකඞ්ග ථපති බොහෝ කිස ඇතියෙක, රාජකරණීයයෙන් බොහෝ කරණී ඇතියෙක. වහන්ස, එයින් ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ ඉතා අලුයම වඩනේ මැනැව”යි.
ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ තුෂ්ණීම්භාවයෙන් ඉවසූහු. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ
තෙරණුවෝ රෑ ගෙවීමෙන් පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන පඤ්චකඞ්ග ථපතිහුගේ නිවෙස්න කරා
වැඩියෝ, වැඩැ පැන්වූ අස්නෙහි හුන්හු. එසඳ
පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින්
සැතැපී. මොනොවට පැවරී. ඉක්බිති පඤ්චකඞ්ග ථපති වළඳා නිමවූ පාත්‍රයෙන් ඉවත් කළ අත්
ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් වෙත් අන්‍යතර නිවාසනයක් ගෙන එකත්පස් වැ හින,
එකත්පස් වැ හුන් පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත්
අනුරුද්ධ තෙරණුවනට තෙල සැලකළේ.
“වහන්ස, ස්ථවිර භික්‍ෂූහු මා කරා එළැඹ මෙසේ කීහ: ‘ගැහැවියෙනි, අප්‍රමාණ චේතෝවිමුක්ති වඩව’ යි. කිසි තෙර
කෙනෙක් මෙසේ කීහ: ‘ගැහැවිය, මහද්ගත චේතෝවිමුක්ති වඩව’ යි. වහන්ස,
අප්‍රමාණ චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් මහද්ගතචේතෝවිමුක්තියෙක් ඇද්ද, මේ දහම්හු නානාර්‍ත්‍ථත් වෙත් ද, නානාව්‍යඤ්ජනත් වෙත් ද, නොහොත් ඒකාර්‍ත්‍ථ වෙත් ද, ව්‍යඤ්ජනමාත්‍රය මැ වෙනස් වේ දැ”යි.
ගැහැවිය, එකරුණෙන් මෙහි ලා තොපට මැ වැටහේවා, මෙයින් තොපට අවිරාධිත බවෙක් වෙයි.
වහන්ස, මට මෙසේ සිත් වෙයි: යම් අප්‍රමාණචේතෝවිමුක්තියක් හා යම්
මහද්ගතචෙතොවිමුක්තියක් හා ඇද්ද, මේ දහම්හු ඒකාර්‍ත්‍ථයහ ව්‍යඤ්ජනමාත්‍රය
මැ වෙන වෙන යැ කියා යි.
ගැහැවිය, යම් අප්‍රමාණචේතෝවිමුක්තියක් හා යම් මහද්ගතචෙතොවිමුක්තියක් හා ඇද්ද,
මේ දහම්හු නානාර්‍ත්‍ථ ද වෙති, නානාව්‍යඤ්ජන ද වෙත්. යම් පරිදි මේ දහම්හු
නානාර්‍ත්‍ථත් නානාව්‍යඤ්ජනත් වෙත් ද, ගැහැවිය,
මේ ක්‍රමයෙනුදු තෙල දන්නේ මැනැව.
ගැහැවිය, යම් අප්‍රමාණචේතෝවිමුක්ති නම් කවර: ගැහැවිය, මේ සස්නෙහි මහණ මෙත් සහගිය සිතින් එක් දිගක්
පතුරුවා වාස කෙරෙයි. දෙවන දිග එපරිදි ම ය, තෙවන දිග එපරිදි මය, සතරවන
දිග එපරිදි මැ යි. මෙ සැටියෙන් උඩ ය, යට
යැ, සරස යැ, යි හැම තැන සර්‍වාත්මතායෙන් සියලු සතුන් ඇති ලෝකය විපුල මහද්ගත අප්‍රමාණ
අවෛර අව්‍යාබාධ වූ මෛත්‍රීසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි. කරුණාසහගත සිතින් ...
මෘදුතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් පැතිරැගෙන වාස කෙරෙයි. දෙවන
දිග ද එසේ යැ ... වාස කෙරෙයි. ගැහැවිය, මේ
අප්‍රමාණචෙතොවිමුක්ති වෙයි.
ගැහැවිය, මහද්ගතචේතෝවිමුක්ති කවර: ගැහැවිය, මෙ සස්නෙහි මහණ එක් රුක් මුලක් පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය
කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ.
ගැහැවිය, මෙ සස්නෙහි මහණ රුක්මුල් දෙකක් හෝ
තුනක් හෝ පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය,
මෙ සස්නෙහි මහණ එක් ගම්කෙතක් පමණ තැන මහද්ගත
යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ ගම්කෙත් දෙකක් හෝ තුනක් හෝ පමණ
තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ එක් මහාරාජ්‍යයක් පමණ තැන්
මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ මහාරාජ්‍ය දෙකක් හෝ තුනක් හෝ
පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මෙ ද මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ.
ගැහැවිය, මෙ සස්නෙහි මහණ සමුද්‍ර පර්‍ය්‍යන්ත
පෘථුවිය පමණ තැන් මහත්ගත යයි අරමුණු කොට නිශ්චය කොට ගෙන වාසය කෙරෙයි. ගැහැවිය,
මෙ ද මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ.
ගැහැවිය, යම් පරිදි මේ දහම්හු නානාර්‍ත්‍ථත්
වෙත් ද නානාව්‍යඤ්ජනත් වෙත් ද, තෙල මෙ කරුණිනුදු දතයුතු වේ.
ගැහැවිය, මේ භවෝත්පත්තීහු සතරදෙනෙකි: කවර සතරදෙනෙක යත්: ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘පරිත්තාභ’ යයි අරමුණු
කොට, නිශ්චය කොට වෙසෙයි. හේ කාබුන් මරණින්
මතුයෙහි පරිත්තාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘අප්පමාණාභ’ යයි අරමුණු කොට, අධිමෝක්‍ෂ කොටගෙන වෙසෙයි. හේ කාබුන් මරණින්
මතුයෙහි අප්පමාණාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘සංකිලිට්ඨාභ’ යයි අරමුණු කොට, අධිමෝක්‍ෂ වශයෙන් බැසගෙන වෙසෙයි. හේ කාබුන්
මරණින් මතුයෙහි සංකිලිට්ඨාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘පරිසුද්ධාභ’ යයි
අරමුණු කොට, අධිමෝක්‍ෂ වශයෙන් නිශ්චය කොටගෙන
වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි පරිසුද්ධාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය,
මේ සතර භවෝත්පත්තීහු යි.
ගැහැවිය, යම් කලෙක ඒ දෙවියෝ එක්රැස් වෙත් ද, එබඳු කලෙක් වෙයි. එක්රැස් වූ ඒ දෙවියන්ගේ වර්‍ණනානාත්‍වය මැ පැනෙයි,
අලෝකනානාත්‍වයෙක් නො ද පැනෙයි. යම්සේ ගැහැවිය,
පුරුෂයෙක් බොහෝ තෙල්පහන් එක් ගෙයකට ප්‍රවේශ
කරන්නේ නම්, ඒ එක් ගෙයකට ප්‍රවේශ කළ ප්‍රදීපයන්ගේ
ගිනිසිළු වෙනස මැ පැනෙයි, අලෝකනානාත්‍වයෙක් නො ද පැනෙයි. එසෙයින්
මැ ගැහැවිය, ඒ දෙවියෝ යම් කලෙක එක්රැස් වෙත් ද,
එබඳු කලෙක් වෙයි. එක්රැස් වූ ඒ දෙවියන්ගේ වර්‍ණනානාත්‍වය
මැ පැනෙයි, අලෝකනානාත්‍වයෙක් නො ද පැනේ. ගැහැවිය,
යම් කලෙක ඒ දෙවියෝ එතැනින් නික්මයෙත් ද,
එබඳු කලෙක් වෙයි. එයින් නික්මයන ඒ දෙවියන්ගේ
ශරීරවර්‍ණයාගේ නානාත්‍වය ද ආලෝකයෙහි නානාත්‍වය ද පැනෙයි. යම් පරිදි ගැහැවිය,
පුරුෂයෙක් ඒ බොහෝ වූ තෙල් පහන් එ ගෙයින් බැහැර
කරන්නේ නම්, එයින් බැහැර කරන ඒ ප්‍රදීපයන්ගේ
සිළුනානාත්‍වයක් ආලෝකයෙහි නානාත්‍වයත් පැනෙයි. එපරිදි ම ගැහැවිය, යම් කලෙක ඒ දෙවියෝ එතැනින් නික්මයෙත් ද,
එබඳු කලෙක් වෙයි. ඉන් නික්මයන ඒ දෙවියන්ගේ
ශරීරවර්‍ණනානාත්‍වය ද ආලෝකයෙහි නානාත්‍වය ද පැනේ. ගැහැවිය, ඒ දෙවියනට මෙබඳු සිතෙක් නො මැ වෙයි: ‘මේ අපට
නිත්‍ය යැයි හෝ ධ්‍රැව යැයි හෝ ශාශ්වත හෝ වේ යැ’යි කියා යි. තවද ඒ දෙවියෝ උයන්
විමන් කප්රුක් ඈ යම් යම් තැනෙක්හි මැ වෙසෙත් ද, ඒ ඒ තැන්හි ඒ දෙවියෝ රමණය කෙරෙත්. ගැහැවිය, යම් පරිදි කදෙකින් හෝ පැසෙකින් හෝ ගෙනයනු ලබන මැස්සනට, “මේ අපගේ නිත්‍ය ස්ථාන යයි හෝ ධ්‍රැවස්ථාන යයි
හෝ ශාශ්වතස්ථාන” යයි හෝ මෙබඳු සිත් නො වන්නේ වේ ද, වැලිත් යම් යම් තැනෙක ඒ මැස්සෝ වැදගනිත් ද, ඒ ඒ තැන්හි මැ ඒ මැස්සෝ රමණය කෙරෙත් ද, ගැහැවිය, එපරිදි ම ඒ දෙවියනට “මේ අප ගේ නිත්‍යස්ථාන
යයි හෝ ධ්‍රැවස්ථාන යයි හෝ ශාශ්වතස්ථාන” යයි හෝ මෙබඳු සිත් නො වේ. වැලිත් යම් යම්
තැනෙක්හි මැ ඒ දෙවියෝ වෙසෙත් ද, ඒ ඒ තැන්හි මැ ඒ දෙවියෝ රමණය කෙරෙත්.
මෙසේ කී කල ආයුෂ්මත් සභිය කච්චායන තෙර
ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල සැලකෙළේ: “වහන්ස, අනුරුද්ධයෙනි, මැනැව, මෙහි ලා මා විසින් මතුයෙහි පිළිවිසියැ යුතු දැයෙක් ඇත්තේ ද වෙයි.
වහන්ස, යම් ආභ දෙවි කෙනෙක් ඇද්ද, එ හැම දෙවියෝ පරිත්තාභ වෙත් ද, නොහොත් අප්පමාණභ වූ කිසි දෙවි කෙනෙක් ඇද්ද?
ඇවැත් කාත්‍යායනයෙනි, ඒ භාවොප්පත්ති කාරණයෙන් මෙහි පරිත්තාභ වූ කිසි
දෙවි කෙනෙක් ඇත. මෙහි අප්පමාණාභ වූ කිසි දෙවි කෙනෙක් ද ඇත.
වහන්ස, අනුරුද්ධයෙනි, යම් හෙයකින් එක් මැ දේවනිකායට වැදගෙන
සිටුනා ඒ දෙවියන් අතුරින් මෙහි ලා පරිත්තාභ වූ කිසි දෙවි කෙනෙක් ඇද්ද, මෙහි ලා අප්පමාණාභ වූ කිසි දෙවි කෙනෙක් ඇද්ද,
එයට කවර හේතු යැ? කවර ප්‍රත්‍යය යැ?
ඇවැත් කාත්‍යායනයෙනි, එකරුණින් මෙහි ලා තොප ම පුළුවුස්මි: යම් පරිදි
තොපට රුස්නේ නම් එපරිදි එය ප්‍රකාශ කරව, ඇවැත් කාත්‍යායනයෙනි, ඒ
කිමැයි හඟනාව? යම් මහණෙක් එක් රුක්මුලක් පමණ තැන්
මහද්ගත යයි අරමුණු කොටගෙන අධිමෝක්‍ෂ වශයෙන් බැසගෙන වෙසේ ද, යම් මහණෙක් රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ
තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ වශයෙන් නිශ්චය කොටගෙන වෙසේ ද, මේ උභය චිත්තභාවනා අතුරින් කවර චිත්තභාවනායෙක්
මහද්ගතතර වේ ද?
වහන්ස, යම් මහණෙක් රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු
කොට අධිමෝක්‍ෂ වශයෙන් බැසගෙන වාස කෙරේ නම්, මේ භාවනාව මේ උභය චිත්තභාවනාවන් අතුරෙන් මහද්ගතතර වේ යයි.
ඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු
කොට නිශ්චය කොට වෙසෙත් ද, තවද යම් මහණෙක් එක් ගම්කෙතක් පමණ තැන්
මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොට ගෙන වෙසෙත් ද, මේ උභයචිත්තභාවනාවන් අතුරෙන් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි.
වහන්ස, යම් මහණෙක් එක් ගම්කෙතක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය
කොටගෙන වෙසේ ද, මේ භාවනාව මේ උභයචිත්තභාවනාවන් අතුරෙන්
මහද්ගතතර වේ යයි.
ඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් එක් ගම්කෙතක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට දැනගෙන වෙසේ
ද, තවද යම් මහණෙක් ගම්කෙත් දෙකක් තුනක්
පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට දැනගෙන වෙසේ ද, මේ උභයචිත්තභාවනාවන් අතුරෙන් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි.
වහන්ස, යම් මහණෙක් ගම්කෙත් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් අරමුණු කොට අධිමෝක්‍ෂ
කොට වාස කෙරේ ද, මේ චිත්තභාවනාව මේ උභයචිත්තභාවනාවන්
අතුරින් මහද්ගතතර වෙයි.
ඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් ගම්කෙත් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු
කොට නිශ්චය කොටගෙන වෙසේ ද, යම් මහණෙක් එක් මහරජයක් පමණ තැන්
මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, මේ උභයචිත්තභාවනාවන් අතුරින් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි.
වහන්ස, යම් මහණෙක් එක් මහරජයක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ
කොට වෙසේ ද, මේ චිත්තභාවනාව මේ උභයචිත්තභාවනාවන්
අතුරින් මහද්ගතතර වෙයි.
ඇවැත් කාත්‍යායනයෙනි, යම් මහණෙක් එක් මහරජයක් පමණ තැන් මහද්ගත යයි
අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, යම්
මහණෙක් මහරජයන් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද,
මේ උභය චිත්තභාවනාවන් අතුරින් කවර
චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි..
වහන්ස, යම් මහණෙක් මහරජ දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට
අධිමෝක්‍ෂ කොට වෙසේ ද, මේ චිත්තභාවනාව මේ උභයචිත්තභාවනාවන්
අතුරින් මහද්ගතතර වෙයි.
ඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් මහරජ දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට
අධිමෝක්‍ෂ කොට වෙසේ ද, යම් මහණෙක් සමුද්‍රපර්‍ය්‍යන්ත පෘථිවිය
පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ කොට වාස කෙරේ ද, මේ උභයචිත්තභාවනාවන් අතුරින් කවර
චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි.
වහන්ස, යම් මහණෙක් සමුද්‍රපර්‍ය්‍යන්ත පෘථිවිය පමණ තැන් මහද්ගත යයි අරමුණු
කොට අධිමෝක්‍ෂ කොට වාස කෙරේ ද, මේ චිත්තභාවනාව මේ උභයචිත්තභාවනාවන්
අතුරින් මහද්ගතතර වෙයි.
ඇවැත් කාත්‍යායනයෙනි, යම් කරුණෙකින් එක් දේවනිකායකට පැමිණි ඒ දෙවියන්
අතුරින් මෙහි කිසි පරිත්තාභ දෙවි කෙනෙක් ඇද්ද, මෙහි අප්පමාණභ කිසි දෙවිකෙනෙක් ඇද්ද, මේ එයට හේතු යැ, මේ එයට ප්‍රත්‍යයැ’යි.
වහන්ස, අනුරුද්ධයෙනි, මනා මැ ය, මෙහි දී මා විසින් මතුයෙහි ඇසියයුතු පැනයෙක් ද ඇත. වහන්ස, යම් පමණ ආභ දෙවියෝ ඇද්ද, එ හැම දෙවියෝ සඞ්කිලිට්ඨාභ වෙත් ද, නොහොත් මෙහි කිසි දෙවිකෙනෙක් පරිසුද්ධාභ වූවාහු
ඇද්ද?
ඇවැත් කාත්‍යායනයෙනි, තදඞ්ගවශයෙන් මෙහි සඞ්කිලිට්ඨාභ කිසි දෙවි
කෙනෙක් ඇත, මෙහි පරිසුද්ධාභ කිසි දෙවි කෙනෙක් ද
ඇත.
වහන්ස, අනුරුද්ධයෙනි, යම් කරුණෙකින් එක් දේවනිකායකට පැමිණි ඒ
දෙවියන් අතර සඞ්කිලිට්ඨාභ කිසි දෙවි කෙනෙක් ඇද්ද, පරිසුද්ධාභ කිසි දෙවි කෙනෙක් ඇද්ද, ඊට හේතු කවරේ ය? ඊට ප්‍රත්‍යය කවරේ යැ’ යි.
ඇවැත් කාත්‍යායනයෙනි, එකරුණින් තොපට උපමාවක් කරමි: මෙ ලො වැ කිසි
විඥපුරුෂ කෙනෙක් උපමායෙනුදු භාෂිතයාගේ අර්‍ත්‍ථය අවබෝධ කොට දනිත්. ඇවැත් කාත්‍යායනයෙනි,
යම් පරිදි දැල්වෙන තෙල්පහනක්හුගේ තෙලුදු නො
පිරිසිදු වේ නම්, වැටිදු නො පිරිසිදු වේ නම්, ඒ පහන තෙල් නො පිරිසිදු හෙයිනුදු වැටි නො
පිරිසිදු හෙයිනුදු අතිශයින් අඳුරු වූවක් සෙයින් දිලෙයි. ඇවැත් කාත්‍යායනයෙනි,
එපරිදි ම මේ සස්නෙහි කිසි මහණෙක් සංකිලිට්ඨාභ
යයි අරමුණු කොට අධිමෝක්‍ෂ කොට වාස කෙරේ ද, ඔහුගේ දෝෂනිශ්ශ්‍රිත කයත් නොසන්හිඳුණේ වේ ද, ථිනමිද්ධයත් නොනැසුණේ වේ ද, උද්ධචච් කුක්කුච්චයත් මොනොවට විනීත නො වේ ද,
හේ කායදුට්ඨුල්ලය නො සන්හුන් බැවිනුදු ථිනමිද්ධ
නො නට බැවිනුදු උද්ධචච්කුක්කුච්චය අවිනීත බැවිනුදු වැඩිපමණ අඳුරු වූවාක් සෙයින්
දිලෙයි. හේ කාබුන් මරණින් මතු සඞ්කිලිට්ඨාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ඇවැත්
කාත්‍යායනයෙනි, යම් පරිදි දැල්වෙන තෙල්පහනක්හුගේ තෙලත්
පිරිසිදු වේ ද, වැටිත් පිරිසිදු වේ ද, ඒ පහන තෙලත් පිරිසිදු හෙයිනුදු වැටිත් පිරිසිදු
හෙයිනුදු වැඩිපමණ අඳුරු වූවාක් සෙයින් නො දිලේ ද, ඇවැත් කාත්‍යායනයෙනි, එපරිදි
ම මෙසස්නෙහි කිසි මහණෙක් පරිසුද්ධාභ යයි අරමුණු කොට නිශ්චය කොට වෙසේ ද, ඔහුගේ කායදුට්ඨුල්ලයත් සන්හුන් වේ ද, ථිනමිද්ධයත් නටුයේ වේ ද, උද්ධචච්කුක්කුච්චයත් විනීත වේ ද, ඒ මහණ කායදුට්ඨුල්ලයත් සන්හුන් හෙයින්
ථිනමිද්ධයත් නටහෙයින් උද්ධචච්කුක්කුච්චයත් විනීත හෙයින් අතිශයින් අඳුරු වූවාක්
සෙයින් නො දිලෙයි. හේ කාබුන් මරණින් මතු පරිසුද්ධාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි.
ඇවැත් කාත්‍යායනයෙනි, එක් දේවනිකායකට පැමිණි ඒ දෙවියන් අතර
සඞ්කිලිට්ඨාභ වූ කිසි දෙවි කෙනෙක් ඇද්ද, පරිසුද්ධාභ කිසි දෙවි කෙනෙක් ඇද්ද, මේ ඊට හේතු යැ, මේ ඊට ප්‍රත්‍යය යි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් සභිය කාත්‍යායන
ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල කී: “වහන්ස, අනුරුද්ධයෙනි, මැනැව. වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මෙසේ නො කියති. කිසේ
යැ යත්: ‘මා විසින් මෙසේ අසන ලදැ’ යි කියා හෝ ‘මෙසේ වන්නට නිස්සැ’ යි කියා හෝ” යි.
තවද වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ “ඒ දෙවියෝ මෙසේත් වෙති, ඒ දෙවියෝ මේ අයුරු වෙති” යි කියා ම කියති.
වහන්ස, මට මෙබඳු සිතෙක් වෙයි: එකැතින්
ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඒ දෙවියන් හා එක්ව විසූවිරූහ, සල්ලාප කළ විරූහ, සාකච්ඡා කළවිරූහ, කියා යි.
ඇවැත් කාත්‍යායනයෙනි, තොප විසින් ඝටා නිගා එළවා බස් පැවැසිණ, වැලිත් මම තොපට කියමි: ‘ඇවැත් කාත්‍යායනයෙනි,
මා දීර්‍ඝරාත්‍රයෙහි ඒ දෙවියන් හා විසූවිරූ ඇත,
සල්ලාප කළවිරූ ඇත, සාකච්ඡා කළවිරූ ඇතැ’ යි.
මෙසේ කී කල ආයුෂ්මත් සභිය කාත්‍යායන
පඤ්චකඞ්ග ථපති හට තෙල කී: ‘ගැහැවිය, තොපට
ලාභයෙක, ගැහැවිය, තොපට සුලද්ධයෙකි, යම් හෙයකින් තෙපිදු ඒ සැක දහම හැරපියව්
ද, අපිත් මේ ධර්‍මපර්‍ය්‍යාය අසන්නට ලදුමෝ
ද එහෙයිනි.’
සත්වැනි අනුරුද්ධ සූත්‍ර යි.
More Reading:
https://tipitaka.lk/mn-3-3-7 - https://youtu.be/M5NuzxuPy1kඅනුරුද‍්ධ සුත‍්තං
https://youtu.be/M5NuzxuPy1k - Youtube
https://budusarana.lk/budusarana/2020/08/03/tmp.asp?ID=fea18
- Youtube
https://budusarana.lk/budusarana/2020/08/03/tmp.asp?ID=fea18
– Budusarana News Paper article
http://bit.ly/3Q9L1Eq
Comments
Post a Comment